Tuesday, June 28, 2016

නෝනා එන්න පලා ගන්න. මහත්තයා එන්න උක්කන්න

ගමේ ගොඩේ සිදාදියේ කවුරැත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි
පොලටයි ආවේ
මම පොලටයි ආවේ

මොහිදින් බෙග් මහත්තයාගේ මේ සින්දුව ඇහෙනාවිට අපිට මතක් වන්නේ කුඩා කාලයේ වැඩිහිටියෙකුට පින්සෙන්ඩු වී පස්සෙන් එල්ලීගෙන ගිය ගමේ පොලය.  එදා පොලේ තිබූ සමහරක් අංග හැලී ගොස් ඇතද අදද ගමේ පොල ඇත.  එසේම අද මොහිදින් බෙග් මහතා නැති වුවද එතුමාගේ මේ ගීතය ගමේ පොළ පිළිබඳව චිත්‍රයක් නොව චිත්‍රපටයක්ම මවාපෙන්වීමට තරම් ප්‍රබලය.

Thursday, June 23, 2016

ඇන්දවීම සහ ඇඳගැනීම

ඇන්දවීම කාලය, දීපය, දේශය අනුව වෙනස් ස්වරෑප ගත්තද එහි මූලික සිද්ධාන්තයන්ගේ මහ ලොකු වෙනසක් දක්නට ලැබෙන්නේ නැත. ලණුදීම, රැවැට්ටවීම, ඇඹරීම, ගුලියක්දීම වැනි වදන් මේ සඳහා භාවිතා වේ. තවත් විටක නයි ඇරීම, නයි පිඹීම වැනි වචනද ඇන්දවීමට ආසන්න තේරැම් දෙන වචන වශයෙන් භාවිතා වේ. අද කාලයේ නම් ඇන්දවීමට සමර්ථකම්පාන දක්ෂයින් හඳුන්වන්නේ ටේලර්වරැන් වශයෙනි. තමන්ට අවශ්‍ය පුද්ගලයාට අවශ්‍ය මිම්මට රෙද්ද කපා, මසා ඇඟටම හරියන ආකාරයට ඇන්දවීමට මේ ටේලර්වරැන් ඉතා දක්ෂය.

Monday, June 20, 2016

මල් මල්ලී වූ අයුරැ

තට මෙපමණ සොඳුරැ නාමයක් ඇතිව තිබියදී කිනම් හේතුවකට මල් මල්ලී නම් අනවර්ථ නාමයක් පටබැඳ ගත්තාහුද දැයි බ්ලොග් අඩවිය ගැන බිනූ කල්හි මා  හිත මිත්‍රාදීන් කිහිප දෙනෙකු විසින්ම විචාලහ.  මෙම නාමය මා විසින් පටබැඳ ගත්තක් නොව මා කැළණිය විශ්වවිද්‍යාලයේ සිප් සතර හදාරණ කල්හි එහි විසු ජ්‍යේෂ්ඨ උත්තම උත්තමාවියන් විසින් පට බඳින ලද්දක් බව විචාලවුන්ට පැහැදිලි කලද මතුවට මේ සම්බන්ධව විචිකිච්චාවක් ඇතිකරගනු නොහී  ඒ පිළිබඳව වූ නිධාන කථාව හුදී ජනයාගේ ලාම්පු කණගාටුව උදෙසා පතල කිරීමට මා තීරණය කලෙමි.


Friday, June 17, 2016

පොඩි කාලේ ජොලියට කාපු කෑම

අපි පොඩි කාලේ කාපු බීපු සමහර දේවල් අද කාලේ පොඩි එවුන්ට දකින්නවත් නෑ. තිබුනත් කන්න ලැබෙන්නෙත් අඩුවෙන්. නැත්නම් කන්න දෙන්නේ නෑ. මගෙ මතකයේ හැටියට අපි විනෝදෙට කාපු බීපු දේවල් කිහිපයක් ගැන පොඩි පෝස්ටුවක් ලිව්වා.

පුන්නක්කු


පුන්නක්කු කියපු ගමන්  හුඟ දෙනෙකුගේ සිහියට එන්නේ හරක් කන කෑමක් විදිහටනේ. ඒක හරි. පුන්නක්කු කන්න දෙන්නේ හරක්ට තමයි. නමුත් අපේ කාලයේ කවුරැ හරි ඉන්නවා නම් තෙල් හිඳින්න ගියාම පොල් පුන්නක්කු කෑල්ලක් කාලා නැති කෙනෙක්, නැත්නම් කඩේට ගියාම මුදලාලිට හොරෙන් පුන්ක්කු කෑල්ලක් සාක්කුවට දා ගත්තේ නැති කෙනෙක් ඒක පුදුමෙට කාරණයක්. ඇත්තටම එහෙම කරන්නේ පුන්නක්කුවල තියෙන කිසිම රසකට නෙමෙයි. පුන්නක්කුවලින් එන සුවඳට.

දැන්නම් කඩෙන් ඇති තරම් පොල්තෙල් ගන්න තියෙනවා. පොල් තෙල් හොඳ නෑ කොලොස්ටරෝල් කියලා හිතන අයට සෝයා,ෆාම්, සුරියකාන්ත වගේ තෙල් තියෙනවා. පොල් තෙල් වලත් සුදු පොල් තෙල් කියලා ජාතියකුත් තියෙනවා. ඉස්සර අපි පොඩි කාලේ පොල්තෙල් කඩෙන් ගත්තෙ හුඟක් අඩුවෙන්. ඒ කාලේ පොල් තෙල් හිඳින ක්‍රම දෙකක් තිබුණා. එකක් ගෙදර පොල්ගාලා කිරි මිරිකලා ලොකු භාජනයකට දාලා රත් කරලා තෙල් හිඳ ගන්නවා. අනෙක් ක්‍රමය පොල් කෑලිවලට කපලා මාගල්වල වේලලා සෙක්කු ගෙදර ගිහින් තෙල් හිඳ ගන්නවා.

Tuesday, June 7, 2016

ගම ගැන


අප රටේ පවතින දුෂ්කර, අඩු පහසුකම් සහිත ගම්මාන පිළිබඳව මම දැනුම් තේරැම් ඇති වියේදී ඇසුවෙමි. දුටුවෙමි. නමුත් මා කුඩා කල ජීවත් වූ පරිසරය එකී දුෂ්කරතා, අඩු පහසුකම්වලින් පරිපූර්ණ වී තිබූ බව මට වැටහෙන්නේ දැන්ය. එකල එම දුෂ්කරතා අප හට දුෂ්කරතා නොවීය. ඒවා සාමාන්‍ය ජීවිතයේ අංගයන් පමණක් විය. තාර දැමූ මාර්ගයක් දැකීමට කිලෝ මීටර් 3.5 ක් පමණ පයින් යා යුතු, කරත්තය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වූ  පන්සලක්, පාසැලක්, ක්‍රීඩා පිටියක්, ප්‍රජා ශාලාවක් තබා අඩුම තරමින් ළදරැ පාසැලක්වත් නොතිබුණු, අමුඩ කෙටිය සහ සරම ප්‍රධාන වස්ත්‍රය කරගත් පිරිමින්ද, රෙද්ද සහ හැට්ටය ඇඳි කාන්තාවන් සුලභ, නූගත් ගැමියන්ගෙන් සමන්විත, මිත්‍යා විශ්වාසයන්ගෙන් පරිපූර්ණ මා කුඩාකළ ජීවත් වූ දුම්මලදෙනිය ගමට අදටත් මා ආදරය කරමි.

Wednesday, June 1, 2016

ආවඩා ආයුබෝවේවා

බ්ලොග් එකක් කිරීමට මා ධෛර්යමත් කරමින් මහත් උපකාර කළ අටමයියාටත්, බ්ලොග් එකට අවශ්‍ය තාක්ෂණික දැනුවත් කිරීම කළ මාතලන්ටත්, මේ දෙදෙනාව මට හඳුන්වාදුන් හැලපයියාටත් මාගේ කෘතඥතාව මුලින්ම පිරිනමමි. එසේම පහන් යායේ සයුරී විසින් ලබාදුන් දිරිමත්කිරීම් සහ උපදෙස් බැතියෙන් සිහිපත් කරමි. 

මේ අය නොවන්නට මගේ බ්ලොග් සිහිනය දවල් සිහිනයක්ම වන්නට ඉඩ තිබුණි. මට බ්ලොග් එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය බැව් කී විට අටමයියා ඔහුම ස්වේච්ඡාවෙන් එය නිර්මාණය කරදීමට තරම් නිහතමානී විය. නමුත් අවසානයේ මා තීරණය කළේ හරියන්න හෝ වරදින්න මා විසින්ම බ්ලොග් එකක් සෑදිය යුතු බවයි. එහාට මෙහාට දඟලා කෙසේ හෝ ඉඩමේ වල්කොටා, කැපූ කැලේ ගිනි දමා, බිම පෙරලා, කුරහන්හේනේ පැල අටවා ගැනීමට හැකිවිය. දඬුවැටේ සිට පැල ඇටවීම දක්වා කියා දුන්නේ මාතලන් ගුරැන්නාන්සේය. කුරහන්හේන තවමත් කෝඩුකාරයෙකුගේ නවදැලි හේනක් නිසා වරදක් ඇතොත් ගුරැන්නාන්සේ විසින් පෙන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. නැවතත් අටමයියා, හැලපයියා, මාතලන් සහ සයුරීට ආයුබෝවේවායි ආවඩා හාපුරා කියා හේනට කුරහන් ඉසින්නට පටන් ගනිමි.