Friday, December 30, 2016

2017 සුභ නව වසරක් වේවා



2017 වසර බ්ලොග් ලියන බ්ලොග් බලන, කමෙන්ට් කරන සියලු දෙනාට සුභ නව වසරක් වේවා.

පසුගිය මාසයක පමණ කාලය තුළ බ්ලොග් එකේ යමක් කෙටීමට නොහැකිවිය. ඇත්තටම වූයේ ලියා ඇති ආර්ටිකල් කීපයක් එඩිට් කරගැනීමට කාලය ප්‍රමාණවත් නොවීමය. කෙසේ වෙතත් මේ නොනගතය ඉක්මනින් නිමා කර නැවත බ්ලොග් රචනාවට එන්ටර් වීම මගේ පරම පිවිතුරු පැතුමය.

Monday, November 7, 2016

අපි වෙනුවෙන් අපි හෙවත් රාජ්‍ය සේවය සහ ජහමනයා



පහුගිය දින කිහිපය තුළම බ්ලොග් ලියන්නන් විශාල පිරිසක් ඉයන්ගේ සින්දු 16 බ්ලොග් අභියෝගය බාර අරන් තිබුණ කියලා තේරුනේ කට්ටියම හෝගාලා තමන් කැමති සින්දු ගැන කියන විටය. මෙය හරියට මම දැක්කේ තමන් යාලු වෙච්ච කෙල්ලන් අතරින් තමන් කැමතිම කෙල්ලන් කවුදැයි කියා අනුපිලිවෙලට නම් කරනවා වගේ වැඩක් හැටියටය. මට ඉස්කෝලේ යන කාලේ සිටම කෙල්ලෝ කීප දෙනෙක්ම  සිටියෝය. ඒ වනචර කමකට නොවේය. හෝමෝන ක්‍රියාවලිය උච්චතම කාලේ නිසා ඒ ගැන කරන්නට දෙයක් නැතිය. ඉතින් එකෙක් හොඳයි කිව්වොත් අනෙකාට සිදුවන්නේ අසාධාරණයක්ය. ආදරයේ “අ, ආ“ කියාදුන් ප්‍රේමයේ, යෞවනේ ඇදුරුතුමියන්ට එහෙව් අසාධාරණයක් කරන්නට මගේ හිත නැවෙන්නේ නැත. සින්දු වැඩෙත් ඒ වගේමය. ඒ නිසා මම මේ වැඩේට සම්මාදන් වෙන්නට නොගියේ මට කැමතිම සින්දුත් 16 ට වඩා ඇති නිසාය. නමුත් වැඩේ නැගලාම ගොස් තිබීම ගැන මම ඉයන්ටත් කැමති සින්දුදාපු හැමෝටමත් ස්තුතිවන්ත වෙනවාය.

Monday, October 24, 2016

කසිප්පු



මගේ මල්ලී වාසය කරන්නේ විදේශ රටකය. වසර කිහිපයකට වරක් ලංකාවට එන මේකා අත එහෙ සිටිනා උන් තමන්ගේ ගෙවල්වල සිටිනා ඈයොන්ට ලබාදීමට කුඩා තෑගි එවනා අතර ආපසු එනවිට රැගෙන ඒමට අවශ්‍ය බඩු භාණ්ඩද ලියා එවයි. මේවා බොහෝ විට තමන් කැමති කඩයක ඇති කොත්තු රොටී, ෆ්‍රයිඩ් රයිස්, රස කැවිලි වැනිදේය. ආපසු යන දිනය ආසන්නයේ නිවසට එන ඥාති හිතමිත්‍රාදීන්  තමන්ගේ දරුවාට හෝ ඥාතියාට රැගෙන යාමට අවශ්‍ය දේ ගෙනවිත් දෙනු ලබයි.  කොත්තු හෝ ෆ්‍රයිඩ් රයිස් අධි ශීතකරණයක දිනක් දෙකක් තබා හරියටම ගුවන් තොටුපලට පිටත්වන වේලාවට බෑගයට දමා ගන්නා අතර ගුවන් යානයේ ඇති වායු සමීකරණය නිසා එහාට යනතෙක් කිසිදු ආපදාවක් සිදුනොවේ. එහෙදී පොඩ්ඩක් රත්කරගත් පසු ඔරිජිනල් තත්වයෙන් මේවා රස විඳිය හැකිය.

Monday, October 17, 2016

වදකහ සුදියේ සිට අකුණු සන්නායකය දක්වා දිගට හරහට ලණු කෑම



මීට මාස දෙක තුනකට පෙර මගේ මිතුරෙක් කථාකර “මචං ජීවිත කාලෙම ගොඩයන්න පුලුවන් බිස්නස් එකක් තියෙනවා. පුලුවන්නම් පරණ අකුණු තැටි තියෙන තැන් ටිකක් හොයලා දීපන්. ලක්ෂ ගාණක් හොයාගන්න පුලුවන්“ යැයි පැවසීය. දිනපතා මුගෙන් මේ සම්බන්ධයෙන් ලැබෙන දුරකථන ඇමතුම් මට ඇනයක් මට්ටමට පත්වූ නිසා අවසානයේ මා කලේ මුගේ ඇමතුම්වලට පිළිතුරැ නොදී සිටීමය. මම ප්‍රතිචාර නොදැක්වුවද මේකා උදයට හා සවසට මට අනිවාර්යෙන් කෝල් කිරීම පුරුද්දක් හැටියටම කරගෙන ගියේය.

Friday, October 7, 2016

හොයන්න බැරි වෙන්න දූරියන් හංඟනවා නම් මෙන්න ක්‍රම




දූරියන් යනු ඉතා ගුණ කෑමකි. හොඳ ශක්තිජනක පළතුරකි.  සමහරුන්ට රසයෙන් අනූන වුවත් තවත් සමහරුන්ට නහය ලඟට ගැනීමට තබා දූරියන් ඇති අහලකින් යා නොහැකිය. ඒ එහි ඇති විශේෂිත සුවඳ නිසාමය. දූරියන් ඇට කුඩා පෙති වලට කපා, වතුර වීදුරුවක දමා රැයක් පහන් වන තෙක් තබා උදෑසනම හිස් බඩට පානය ඉතා ගුණදායක බව කියනා බැවින් අපේ සමහරුන් දූරියන් කෑමටත් වඩා මනාප වන්නේ දූරියන් ඇට පෙර කී ආකාරයට සකසා පානය කිරීමටය. අපි දැකලා ඇත්තේ කටු සහිත දූරියන් පමණක් වුවද පිලිපීනයේ කැලෑ වල කටු රහිත දූරියන් විශේෂයක් ඇත. මෙය හඳුන්වන්නේ තට්ට දූරියන් වශයෙනි. එසේම අප දන්නා කහ පැහැ මදය සහිත දූරියන් වලට අමතරව රතු සහ තැඹිලි වර්ණයෙන් යුත් මද සහිත දූරියන්ද ඇත.

Tuesday, September 27, 2016

ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග, නපුංසක ලිංග



පුමුතිරි බව හා ලිංගිකත්වය ගැන හැටහුට හමාරක් කුණු කථාද, රස කථාද නව යොවුන් වියේ අප අතර පැවතියේය. නමුත් දැනුම් තේරුම් ඇතිවන විට අප තේරුම් ගන්නේ මිනිසුන්ගේ පුමුතිරි බව තීරණය වන්නේ වර්ණදේහ මගින් බවත් ලිංගිකත්වය යනු ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක් බවත්ය. ලිංගික වර්ණදේහ උරුමය අනුව උපදින පොඩි එකාට අයත් වන්නේ  චීත්තයක්ද, කම්බායක්ද යන්න ස්ත්‍රී/ පුරුෂ වශයෙන් උප්පැන්නයේ සටහන් කිරීම සිදුවේ.

Sunday, September 18, 2016

මෙඩිකල් ටෙස්ට් එකේදි යට ඇඳුනුත් ගලවනවාද?



පරිවාස කාල සීමාව අවසානයේ රාජ්‍ය සේවයේ ස්ථිර කිරීමේදී  සහ විශ්‍රාම යන වයසින් අනතුරැව සේවා දිගු ලබාදීමේදී  අදාල පුද්ගලයා දිවයිනේ ඕනෑම තැනක සේවය කිරීමට මනා සෞඛ්‍ය තත්වයකින් පසුවන බවට වෙද්‍යවරුන් විසින් සනාථ කළ යුතුය. සේවය ස්ථිර කිරීමේදී මෙම නීතිය තදින් ක්‍රියාත්මක වන නමුත් සේවා දිගු ලබාගන්නේ බොහෝ විට තමන්ගේ ආර්ථික ගැටලු නිසා බව දන්නා වෛද්‍යවරුන් වුවත් මේ පිළිබඳව සානුකම්පිතව සළකා කටයුතු කරති. ඒ අනුව තමන්ගේ දරුවන්ගේ ඉ‍ගෙනුම් කටයුතු, විවාහ කටයුතු අවසන් වනතුරු වසරක් දෙකක් මේ ආකාරයට සේවය කිරීමට වරම් ලැබීමට රජයේ සේවකයන්ට හැකියාව තිබුණි.

Saturday, September 10, 2016

ඇයි බැල්ලියෝ විතරක්. එහෙනම් කෙල්ලියොත් පන්සලට ගෙනත් දාපල්ලා



බල්ලා ගැන පොඩි අදහසක් ලිවීමට සිතුනේ පසුගිය දිනක අපේ  පුංචි අම්මලා බල්ලන් නිසා නැටූ නාඩගමක් නිසාය. පුංචි අම්මලාගේ ගෙදර බල්ලන් තුන් දෙනෙකි. උන් සියලු දෙනා වල්ටේසන් පරම්පරාවේ කැහැටු උප කුලයට අයත්වූවන්ය. නිවසේ  සියලු සැප සම්පත් භුක්ති විඳීමේ  පූර්ණ බලතල මේ සුනඛ පෝතකයන් සතුවිය. එනිසාවෙන්ම ඇඳ, පුටු, සාලය, කොට්ට, මෙට්ට, කුස්සිය ආදී මෙකී නොකී සෑම ස්ථානයකම කිසිදු අවසරයකින් තොරව ලැගීමට මෙම බල්ලන්ට කිසිදු තහනමක් නොවීය. මේ නිසා මැක්කන්ද, කිනිතුල්ලන්ද ඉඳහිට බිත්තිදිගේ බඩගානු දැකිය හැකිවිය.

Wednesday, August 3, 2016

ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ සිට ශ්‍රීමත් මදන මෝදකය දක්වා



ශ්‍රීමත් යනු එංගලන්තයේ රජුගෙන් හෝ රැජිනගෙන් ලැබෙන නම්බු නාමයකි. මෙය ඉංග්‍රීසියෙහි භාවිතා වන්නේ සර් යනුවෙනි. මෙය පිරිනමන්නේ එසේ මෙසේ අයට නොවේ. ලෝකයට වැදගත් සේවයක් සිදුකළ අයටය. ගුරැත්වාකර්ෂණය සොයාගත් අයිසැක් නිව්ටන්ට මහ රැජින විසින් ශ්‍රීමත් නාමය පිරිනමනු ලැබීය. ක්‍රිකට් ක්‍රීඩාවේ රිචඩ් හැඩ්ලි, ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, විවියන් රිචර්ඩ්ස් වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින්ට ශ්‍රීමත් නාමය පිරිනමා ඇත. ලංකාවේ ශ්‍රීමත් නාමය ලැබූ කිහිපදෙනෙකි. විද්‍යා ප්‍රබන්ධ කතුවර ආතර් සී ක්ලාක් මහතාටද ඒ ආකාරයෙන් මහ රැජිණ විසින් ශ්‍රීමත් නාමය පිරිනමනු ලැබීය. එසේම ජෝන් කොතලාවල, ඩී. බී. ජයතිලක වැනි අයද එංගලන්ත රජුගෙන් හෝ රැජිණියගෙන්  ශ්‍රීමත් (සර්) නාමය ලැබූ අය වෙති.

Thursday, July 28, 2016

කොටු පැනීම - 4 (යාලුවන්ගේ කථා)



සමිතයා යනු මාත් සමග කලක් සේවයකළ අපේ බෝඩිමේම කාමරයක සිටි මිතුරෙකි. මේකා ගැන පොස්ටු 10 ක් උනත් ලිවිය හැක්කේ ඒ කාලයේ කල ගොන් වැඩ නිසාමය. බෝඩිමේ කථාගැන පසුව ලියන නිසා මේකා ගැන වැඩි විස්තර එහිදී සඳහන් කරමි.  දිනක් මේකා හවස කාර්යාල කාමරයට පැමිණ මචං මං අද රෑට එන්නේ නෑ. උඹ පලයන් යැයි පැවසීය. මම ඇදැයි ඇසූවිට මම අද කෑල්ලක් ගේනවා. ටොප් කෙල්ල මචං. වයස 18. අද රෑ ඒකිත් එක්ක ඉන්නවා. මම පහලට යනවා ඒකි එක්කගෙන එන්නයැයි කියා පිටත්විය.

Wednesday, July 27, 2016

කොටු පැනීම - 3 (ගමේ කථා)



අබේ අය්යා අපේ ගමේ උන් අවිවාහක හිත හොඳ කොල්ලෙකි. කාටත් කරදරයක් නැති මූ කලේ මේසන් වැඩය. අබයා පොඩිපහේ වැහි ගතියක් තියෙනා දවසක වෙල පැත්තේ යන අතරතුර වැස්ස ටිකක් තද කිරීම නිසා අප්පුහාමි අය්යලාගේ කුඹුරැරේ පැලට ගොඩවී ඇත. පැලක් කීවාට මෙය ඇත්තේ වෙලේ කමතේය. වටේ කෙටි තාප්පයක් බැඳ බිමට සිමෙන්තිද දමා තිබේ. ඉඳහිට අපිද වෙල් පැත්තේ ගියවිට මෙම පැලට ගොඩවී පොඩි ඇලට් එක් දැමීමට හුරැවී සිටියෙමු. එතන ඒ තරම් සනීපය. නිස්කලන්කය.

Tuesday, July 26, 2016

කොටු පැනීම - 2 ( ගමේ කථා)




අදනම් මසාජ් ක්ලින්ක් නමින් ඇති තැන්වලින්ද, කෝල් එකෙන්ද, මූණු පොතෙන්ද ලලක්කලා, ලලා නංගිලා ලබාගතහැකිය. නමුත්  ඒ කාලයේ එවැනි තැනක් හොයාගැනීම කලු නික හොයනා ගානය. කෙසෙල් කඳක් උනත් කමක් නෑ නාඩි වැටෙනවානම්. පක්ෂියෙක් උනත් කමක් නෑ කකුල් දෙක හිර කරලා අල්ලනවානම් කියා අපේ උන් කීවේ පැවති ඉල්ලුමට සැපයුමක් නැතිවූ නිසාය. 

කොටු පැනීම - 1



අපි කුඩා එවුන්  කාලයේ කොටු පැනීම කියා කිව්වේ  බට්ටා පැනීමටය. සමහර පළාත්වල මෙයට අඹ කොටු පැනීම යැයිද කියනු ලබයි. නමුත් අදනම් කොටුවක් පැනීම යනු තහනම් ගහේ ගෙඩි රස බැලීමට කියනා වචනයකි. කොටු පැනීම ගැන පිටු 4 ක විතර පෝස්ටුවක් ලියනවායැයි සිතාගත්තද අන්තිමට එය පිටු 14 ක් විය. ඒ මම කොටුවට කැමති නිසා නොව කොටුව ගැන අහපු දැකපු ඒවා ඒ තරම් තිබූ නිසාය. රජ කාලයෙන් පටන්ගෙන පසුව අපේ ගමේ උන්ට, යාලුවන්ට මුහුණදීමට සිදුවූ අත්දැකීම් මෙයට එක්කාසු කිරීම පෝස්ටුව දිගුවීමට හේතුවිය. එම නිසා පාඨක රසාස්වාදය උදෙසා දින 4 කින් මෙම පෝස්ටු 4 කියවීමට  අවස්ථාව ලබාදීමට තීරණය කලෙමි.

Thursday, July 21, 2016

මට ඇන්නා පැන්නා තියරිය කියාදුන් අය



ඇන, ඇන ගන්නවා, ඇන්න, ඇන්නා, ඇන්නා - පැන්නා වැනි වචන කිවූ සැනින් බොහෝ දෙනෙකුට මතක් වනු ඇත්තේ කුණු හබ්බයක් හෝ එයට ආසන්න අදහසකි. නමුත් එම වචන  අපේ ප්‍රායෝගික ජීවිතයට වෙනත් අංශයන්ගෙන් සම්බන්ධ වනු අපට දැකිය හැකිය. ඒවා මතක් නොවන්නේ බොහෝ දෙනෙකුට රෑට හීනෙන් පෙනෙන්නේද පෙර කී කුණු හබ්බ කථාවේම කොටස් නිසාවෙනි. වල් හිතට හැමදේම වල් යන පැරණි කියමන නැවත පසක් වන්නේ මෙවැනි අවස්ථාවලදීය.

Thursday, July 14, 2016

වෑර්ලස් එක, රෑප පෙට්ටිය සහ ලයිසොම ගැනීම


අද නම් රැපියල් 1900 ට ඇති ජංගම දුරකථනයෙන්ද කනේ වයර් දෙක ගසාගෙන ගුවන් විදුලිය ශ්‍රවණය කළ හැකිය.  ඇවසි නම් රෑපවාහිනිය නැරඹිය හැකි ජංගම දුරකථනද චීනාට පින් සිද්ධ වෙන්නට ලබාගත හැකිය. නමුත් අපි කුඩා කාලයේ ගුවන් විදුලිය සහ රෑපවාහිනිය යනු ගමේ යමක්කමක් ඇති පවුල් වලට සීමාවූ සුඛෝපුභෝගී භාණ්ඩම විය. අපේ ගම්වල සිටි ඇවිදින ගුවන්විදුලි යන්ත්‍ර විදුලි වේගයෙන් ගම පුරා ප්‍රවෘත්ති බෙදා හැරීමේ කාර්යයේ නිරත වූ නිසා  ගුවන් විදුලිය නොතිබුණද ගමේ ඕපාදූප නම් දැනගත හැකිවිය. සමහරැ ජංගම ගුවන්විදුලි යන්ත්‍ර නොව පුවත් ඒජන්සි විය.



Tuesday, July 12, 2016

සුන්දර සහ අසුන්දර මතක

ගැමි දරැවෙකු විඳිනා සුන්දර සහ අසුන්දර අත්දැකීම් සමුදායක් මගේ ළමා කාලය තුළ විඳීමට මට හැකියාව ලැබුනි. දැන්  කුරහන් හේන නමින් බ්ලොග් එකක් කලද මා හට විඳගැනීමට නොහැකි වූයේ හේන් ගොවිතැන පිළිබඳ අත්දැකීම් පමණක් කීවොත් නිවැරදිය. ගම්මානයක, කෘෂිකාර්මික වටපිටාවක විඳිනා සෑම අත්දැකීමක්ම පාහේ විඳගැනීමට මට හැකියාව ලැබුණි. සමහර අත්දැකීම් ඒ කාලයේ හැටියට තරමක රලු  කර්කෂ ලෙසකින් දැනුනද අද අතීතය ස්මරණය කරමින් සිනාසීමට හේතු සාධක සපයා දෙන්නේ එම අත්දැකීම්ය.

Tuesday, June 28, 2016

නෝනා එන්න පලා ගන්න. මහත්තයා එන්න උක්කන්න

ගමේ ගොඩේ සිදාදියේ කවුරැත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි
පොලටයි ආවේ
මම පොලටයි ආවේ

මොහිදින් බෙග් මහත්තයාගේ මේ සින්දුව ඇහෙනාවිට අපිට මතක් වන්නේ කුඩා කාලයේ වැඩිහිටියෙකුට පින්සෙන්ඩු වී පස්සෙන් එල්ලීගෙන ගිය ගමේ පොලය.  එදා පොලේ තිබූ සමහරක් අංග හැලී ගොස් ඇතද අදද ගමේ පොල ඇත.  එසේම අද මොහිදින් බෙග් මහතා නැති වුවද එතුමාගේ මේ ගීතය ගමේ පොළ පිළිබඳව චිත්‍රයක් නොව චිත්‍රපටයක්ම මවාපෙන්වීමට තරම් ප්‍රබලය.

Thursday, June 23, 2016

ඇන්දවීම සහ ඇඳගැනීම

ඇන්දවීම කාලය, දීපය, දේශය අනුව වෙනස් ස්වරෑප ගත්තද එහි මූලික සිද්ධාන්තයන්ගේ මහ ලොකු වෙනසක් දක්නට ලැබෙන්නේ නැත. ලණුදීම, රැවැට්ටවීම, ඇඹරීම, ගුලියක්දීම වැනි වදන් මේ සඳහා භාවිතා වේ. තවත් විටක නයි ඇරීම, නයි පිඹීම වැනි වචනද ඇන්දවීමට ආසන්න තේරැම් දෙන වචන වශයෙන් භාවිතා වේ. අද කාලයේ නම් ඇන්දවීමට සමර්ථකම්පාන දක්ෂයින් හඳුන්වන්නේ ටේලර්වරැන් වශයෙනි. තමන්ට අවශ්‍ය පුද්ගලයාට අවශ්‍ය මිම්මට රෙද්ද කපා, මසා ඇඟටම හරියන ආකාරයට ඇන්දවීමට මේ ටේලර්වරැන් ඉතා දක්ෂය.

Monday, June 20, 2016

මල් මල්ලී වූ අයුරැ

තට මෙපමණ සොඳුරැ නාමයක් ඇතිව තිබියදී කිනම් හේතුවකට මල් මල්ලී නම් අනවර්ථ නාමයක් පටබැඳ ගත්තාහුද දැයි බ්ලොග් අඩවිය ගැන බිනූ කල්හි මා  හිත මිත්‍රාදීන් කිහිප දෙනෙකු විසින්ම විචාලහ.  මෙම නාමය මා විසින් පටබැඳ ගත්තක් නොව මා කැළණිය විශ්වවිද්‍යාලයේ සිප් සතර හදාරණ කල්හි එහි විසු ජ්‍යේෂ්ඨ උත්තම උත්තමාවියන් විසින් පට බඳින ලද්දක් බව විචාලවුන්ට පැහැදිලි කලද මතුවට මේ සම්බන්ධව විචිකිච්චාවක් ඇතිකරගනු නොහී  ඒ පිළිබඳව වූ නිධාන කථාව හුදී ජනයාගේ ලාම්පු කණගාටුව උදෙසා පතල කිරීමට මා තීරණය කලෙමි.


Friday, June 17, 2016

පොඩි කාලේ ජොලියට කාපු කෑම

අපි පොඩි කාලේ කාපු බීපු සමහර දේවල් අද කාලේ පොඩි එවුන්ට දකින්නවත් නෑ. තිබුනත් කන්න ලැබෙන්නෙත් අඩුවෙන්. නැත්නම් කන්න දෙන්නේ නෑ. මගෙ මතකයේ හැටියට අපි විනෝදෙට කාපු බීපු දේවල් කිහිපයක් ගැන පොඩි පෝස්ටුවක් ලිව්වා.

පුන්නක්කු


පුන්නක්කු කියපු ගමන්  හුඟ දෙනෙකුගේ සිහියට එන්නේ හරක් කන කෑමක් විදිහටනේ. ඒක හරි. පුන්නක්කු කන්න දෙන්නේ හරක්ට තමයි. නමුත් අපේ කාලයේ කවුරැ හරි ඉන්නවා නම් තෙල් හිඳින්න ගියාම පොල් පුන්නක්කු කෑල්ලක් කාලා නැති කෙනෙක්, නැත්නම් කඩේට ගියාම මුදලාලිට හොරෙන් පුන්ක්කු කෑල්ලක් සාක්කුවට දා ගත්තේ නැති කෙනෙක් ඒක පුදුමෙට කාරණයක්. ඇත්තටම එහෙම කරන්නේ පුන්නක්කුවල තියෙන කිසිම රසකට නෙමෙයි. පුන්නක්කුවලින් එන සුවඳට.

දැන්නම් කඩෙන් ඇති තරම් පොල්තෙල් ගන්න තියෙනවා. පොල් තෙල් හොඳ නෑ කොලොස්ටරෝල් කියලා හිතන අයට සෝයා,ෆාම්, සුරියකාන්ත වගේ තෙල් තියෙනවා. පොල් තෙල් වලත් සුදු පොල් තෙල් කියලා ජාතියකුත් තියෙනවා. ඉස්සර අපි පොඩි කාලේ පොල්තෙල් කඩෙන් ගත්තෙ හුඟක් අඩුවෙන්. ඒ කාලේ පොල් තෙල් හිඳින ක්‍රම දෙකක් තිබුණා. එකක් ගෙදර පොල්ගාලා කිරි මිරිකලා ලොකු භාජනයකට දාලා රත් කරලා තෙල් හිඳ ගන්නවා. අනෙක් ක්‍රමය පොල් කෑලිවලට කපලා මාගල්වල වේලලා සෙක්කු ගෙදර ගිහින් තෙල් හිඳ ගන්නවා.

Tuesday, June 7, 2016

ගම ගැන


අප රටේ පවතින දුෂ්කර, අඩු පහසුකම් සහිත ගම්මාන පිළිබඳව මම දැනුම් තේරැම් ඇති වියේදී ඇසුවෙමි. දුටුවෙමි. නමුත් මා කුඩා කල ජීවත් වූ පරිසරය එකී දුෂ්කරතා, අඩු පහසුකම්වලින් පරිපූර්ණ වී තිබූ බව මට වැටහෙන්නේ දැන්ය. එකල එම දුෂ්කරතා අප හට දුෂ්කරතා නොවීය. ඒවා සාමාන්‍ය ජීවිතයේ අංගයන් පමණක් විය. තාර දැමූ මාර්ගයක් දැකීමට කිලෝ මීටර් 3.5 ක් පමණ පයින් යා යුතු, කරත්තය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වූ  පන්සලක්, පාසැලක්, ක්‍රීඩා පිටියක්, ප්‍රජා ශාලාවක් තබා අඩුම තරමින් ළදරැ පාසැලක්වත් නොතිබුණු, අමුඩ කෙටිය සහ සරම ප්‍රධාන වස්ත්‍රය කරගත් පිරිමින්ද, රෙද්ද සහ හැට්ටය ඇඳි කාන්තාවන් සුලභ, නූගත් ගැමියන්ගෙන් සමන්විත, මිත්‍යා විශ්වාසයන්ගෙන් පරිපූර්ණ මා කුඩාකළ ජීවත් වූ දුම්මලදෙනිය ගමට අදටත් මා ආදරය කරමි.

Wednesday, June 1, 2016

ආවඩා ආයුබෝවේවා

බ්ලොග් එකක් කිරීමට මා ධෛර්යමත් කරමින් මහත් උපකාර කළ අටමයියාටත්, බ්ලොග් එකට අවශ්‍ය තාක්ෂණික දැනුවත් කිරීම කළ මාතලන්ටත්, මේ දෙදෙනාව මට හඳුන්වාදුන් හැලපයියාටත් මාගේ කෘතඥතාව මුලින්ම පිරිනමමි. එසේම පහන් යායේ සයුරී විසින් ලබාදුන් දිරිමත්කිරීම් සහ උපදෙස් බැතියෙන් සිහිපත් කරමි. 

මේ අය නොවන්නට මගේ බ්ලොග් සිහිනය දවල් සිහිනයක්ම වන්නට ඉඩ තිබුණි. මට බ්ලොග් එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය බැව් කී විට අටමයියා ඔහුම ස්වේච්ඡාවෙන් එය නිර්මාණය කරදීමට තරම් නිහතමානී විය. නමුත් අවසානයේ මා තීරණය කළේ හරියන්න හෝ වරදින්න මා විසින්ම බ්ලොග් එකක් සෑදිය යුතු බවයි. එහාට මෙහාට දඟලා කෙසේ හෝ ඉඩමේ වල්කොටා, කැපූ කැලේ ගිනි දමා, බිම පෙරලා, කුරහන්හේනේ පැල අටවා ගැනීමට හැකිවිය. දඬුවැටේ සිට පැල ඇටවීම දක්වා කියා දුන්නේ මාතලන් ගුරැන්නාන්සේය. කුරහන්හේන තවමත් කෝඩුකාරයෙකුගේ නවදැලි හේනක් නිසා වරදක් ඇතොත් ගුරැන්නාන්සේ විසින් පෙන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. නැවතත් අටමයියා, හැලපයියා, මාතලන් සහ සයුරීට ආයුබෝවේවායි ආවඩා හාපුරා කියා හේනට කුරහන් ඉසින්නට පටන් ගනිමි.