Sunday, February 12, 2017

ඒක හීනයක් විතරයි

පුංචි දියණියත්, බිරිඳත් සුව නින්දේ. බාගෙට විවර කරලා තිබුනු ජනේලයෙන් සිහිල් සුළං රැල්ලක් කාමරයට ඇදිලා ආවා. හුඟ කාලෙකින් ඇදහැලුනු වර්ෂාවත් එක්ක මෙතෙක් කල් පැවති කර්කෂ රෂ්මිය මැකිලා ගිහින්. යන්තම් සිරිපොද වැස්සක් වැටෙන සිලි සිලි හඬ ඇහෙනවා. සිගරැට්ටුවකුත්  ලයිටරයත් අරන් බැල්කනියට ආවේ මේ සුන්දරත්වය විඳින්න ඕන හුදකලාවත් එක්ක කියන හැඟීමත් එක්ක.

පාරේ සවිකරලා තියෙන විදුලි පහනට අවට ඒකාලෝක වෙලා. ඒ ලයිට් එලියට ලස්සනට වැහිපොද වැටෙන විදිහ පේනවා. පුංචි මීදුමකුත් තියෙනවා. මතකයට එන්නේ නුවරඑළිය. සිගරුට්ටුව පත්තුකරලා දුම් වලල්ලක් පිටකරලා මේ වගේ දර්ශනයක් බලාගෙන ඉන්න ලැබෙන්නේ කළාතුරකින්. ලයිට් එලියට වත්තේ කොනකට වෙන්න හිටවලා තියෙන  සමන් පිච්ච මල් වැලේ මල් පිපිලා තියෙන විදිහ පේනවා. ලාවට සමන් මල් සුවඳක් පැතිරිලා ගිහින්. මේ සමන් මල්  සුවඳ මගේ ජීවිතේට ගොඩක් සමීපයි. ඒ අතරින් අසල නිවසක ක්‍රියාත්මක කර ඇති රේඩියෝවකින් නිකුත්වන භාතිය සහ උමාරියා ගායනා කරන ගීතයක් හෙමිහිට වගේ ඇහෙනවා.

වලාකුල් වියන් තනාලා ...... ඉරේ රැස් නිවා දමා 
වසන්තේ අරන් ඇවිල්ලා ...... සිහිල් සේලයෙන් වෙලා

මේ ගීතයත් එක්කම ඇද හැලෙන වැස්සට තෙමෙන පුංචි සමන් පිච්ච මල දැක්ක මගේ හිතේ හැංගිලා තිබුන ආදරණීය හීනයකට නැවතත් පණ ලැබුනා.  ඒක හීනයක් විතරයි. ඒ හීනය විස්තර කරන එක නම්   තේරුමක් නෑ. ඒත් හීන, වැස්ස කවදාවත් ඉවර වෙන දේවල් නෙමෙයි. මාස ගාණක් පෑව්වත් කොයි මොහොතක හෝ නැවතත් සුපුරුදු විදිහට වැස්ස ඇද හැලෙනවා. හීන කවදාවත් පෙනිලා ඉවර වෙන්නේ නෑ. අපේ මතකයනුත් ඒ එක්කම නැවතත් අවදි වෙනවා.

ඒ මම සහභාගී වූ ප්‍රථම විදේශ පර්යේෂණ වැඩමුලුව. රටවල් පනහකට ආසන්න ප්‍රමාණයකින් තරුණ උගතුන්, වෘත්තිකයින් මෙයට සහභාගීවෙලා හිටියා. අපි නවාතැන් ගත්තේ වැඩමුලුව පැවැත්වෙන ආයතන භූමියේම තිබූ නේවාසිකාගාරයක. රාත්‍රී ආහාරයට අපි සියලු දෙනා එහි තිබූ අවන්හලට ගියා. මම ඇයව මුලින්ම දැක්කේ එතනදී.

කෑම බෙදාගෙන මම වටපිට බැලුවේ වාඩි වෙන්න තැනක් තියෙනවද බලන්න. ලෝකේ රටවල් 50 කින් විතර ආව තරුණ තරුණියෝ හැමතැනම වාඩිවෙලා සතුටු සාමීචියේ යෙදෙනවා. හැම මේසෙම පිරිලා. මම දැක්කා එක තැනක පුටුවක් හිස්ව තියෙනවා. මම එතනට ගියා වාඩිවෙන්න.  ඒත් එතනදී එකපාරටම දැක්ක රූපය නිසා මගෙ හිත තිගැස්සුනේ ඇයිද කියල මට තේරැනේ නෑ. කාලයකට ඉස්සර මගේ හිතේ ඇඳිලා තිබුණ  සිහින දෙව් දුව කථා කරන විදියට කථා කරනහිනා වෙන විදියට හිනා වෙන සොදුරු රුවැත්තියක් මම ඉදිරියේ. “මේ අයි සිට් හියර්“ මම ආචාරශීලීව ඇහුවා. “යර්ස් ෂුවර්.  ආ යූ ප්‍රොම් ශ්‍රී ලංකා“. ඒ එයාගේ යාලුවගේ හඬ. “යර්ස්. මයි නේම් ඊස් ශ්‍රීණාත්. ඇන්ඩ් යූ“ දෙබස පටන් ගත්තේ ඒ විදිහට. තවත් මොනමොනවදෝ ඒ රුවැත්තියගේ යාලුවා  මගෙන් ඇහුවා. මමත් ඒවට උත්තර දුන්න.


නමුත් ඒ රුවැත්තිය යාලුවා එක්ක කථා කලාට මාත් එක්ක කථා කලේ නෑ.  ටික වෙලාවක් කථාකරද්දි එක පාරටම මට ඇගේ මුහුණ දිහා කෙලින්ම බැලුනා. හරියටම ඒ රුවැත්තියගේ දෑසයි මගේ දෑසයි එකිනෙක පැටලුනේ ඒ වෙලාවෙදි. ඒ බැල්ම මගේ ආත්මයේ ගැඹුරටම කිඳා බැස්සා කියලා මට දැනුනා. කෝල විදිහට සිනාසුනත් බලාපොරොත්තු සහගත දීප්තිමත් බවක් ඒ දෑස තුළ මම දැක්කා. පලමු දිනයේදිම හුගක් දේවල් කථා කලා. වැඩියෙන් කථාකලේ ඒ රුවැත්තියගේ යාලුවා. “ආ යූ මැරීඩ්". "නොට් යෙට්“. “ඩූ යූ හෑව් බෝයි ෆ්‍රෙන්ඩ්“. නෝ නෝ“. ඒ යාලුවගේ විස්තර. “හව් අබවුට් හර්“ මම ඇහුවේ මගේ හිතට එබුණු රුවැත්තියගැන. “ඔහ් ෂී හෑස් බෝයි ෆ්‍රෙන්ඩ්“. මම එතනින් එහා මොකුත් ඇහුවේ නෑ. ඇයත් බිම බලාගත්තා. මගේ  විස්තර අහපුවාම මම ෆෝන් එකේ තිබුණු වයිෆ්ගෙයි දුවගෙයි ෆොටෝ එයාලට පෙන්නුවා.

පහුවෙනිදා අපි වැඩමුලුවට සහභාගි වෙන්න ගියා. කලින් දින දුටු රුවැත්තියත් මගේ සෙසන් එකටම ඇවිත්. පෙරදා කථාකල දැන ඇඳුනුම්කමට අපි වාඩි උනේ එකම පේලියක. පොඩ්ඩක් රට තොට විස්තර කථා කරලා මම නිකමට වගේ ඇහුවෙ ඇගේ පෙම්වතා මොනවද කරන්නේ කියලා. “ නෝ නෝ අයි හෑව් නෝ බෝයි ෆ්‍රෙන්ඩ්. හී ඊස් මයි එක්ස් බෝයි  ෆ්‍රෙන්ඩ්“. එතනින් එහාට ඒ කථාව ඇදුනේ නෑ. එදා දිවා ආහාරයට මමත් සමග ඇය සහ ඇගේ මිතුරිය පැමිණුනා. මේ හිතවත්කම දින කිහිපයක්ම පැවතුනා. අපි දිනපතා හමුඋනා. මූණු පොතේ යාලුවෝ  උනා. දුරකථන අංක හුවමාරු උනා. සමහරවිට  පුද්ගලික දේවල් පවා දෙදෙනා කථා උනා. එයාගේ මුණු පොතේ චූටි බබෙක් එක්ක ඉන්න ෆෝටෝ එකක් තිබුණා. ඒත් මම ඇහුවේ නෑ බබා කාගෙද කියලා. දිනක් මම ඇගෙන් ඇසුවා ඔයාගේ රටේ තියෙන ලස්සනම මල මොකක්ද කියලා. ඇය එකවිටම කිව්වේ ජැස්මින් (සමන් පිච්ච)

මුලින් මේක ප්‍රකාශිත ආදරයක් උනේ නෑ. අප දෙන්න දැනගෙන හිටියා අපි අතර බැදීමක් තියෙනවා කියලා. අනිත් අයට නොදැනෙන්න ආදරය කරනකොට තමයි ආදරේ නියම සුන්දරත්වය විඳින්න පුලුවන් කියලා මම අදටත් විශ්වාස කරන්නේ. දෑසින් ඉඟි බිඟි පාද්දි, රොමෑන්ටික් දෙයක් ලියපු කඩදාසියක් හෙමිහිට අතට ගුලි කරලා ප්‍රතිචාරය බලන් ඉන්නකොට, වෙන කෙනෙක් එක්ක කථා කරනකොට මුහුණ ඉරිසියාවෙන් පිරෙද්දි, හොරෙන් මුහුණ දිහා බලන් ඉඳිද්දි, දෑසට දෑස හමු වෙනකොට තියෙන චමත්කාරය හරිම සොඳුරුයි. සමහර වෙලාවට රෑ කෑම කාලා අනිත් අය පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් ඉඳලා කිට්ටුව තියෙන සිමෙන්ති බැම්මේ වාඩිවෙලා දෙන්නා එක්ක කථා කරනවා. කථා කරනවා කියන්නේ වැඩිපුරම පොඩි උන් දෙන්නෙක් වගේ පිස්සු කියෝනවා. එහෙම දවසක තමයි බලාපොරොත්තු උනේ නැති වෙලාවක ඇය මගේ කම්මුලට පලවෙනි වරට පුංචි හාදුවක් දුන්නේ.


රැයේ සීතලෙන් මිදිලා තුෂාරෙන් මුවා වෙලා 
හිඳින්නේ ඔබේ ළඟයි මා සුසුම් උණුසුමක් පතා
                                                උමාරියාගෙයි, භාතියගෙයි හඬ ඇහෙනවා.

ඇය ඒ දවස් කීපය පුරාම මගේ ලඟින්ම සිටියා.  ඒ සුමුදු ආදරයේ පහස මගේ ආත්මය සිසාරා දැනෙමින් තිබුනා. මම ඇගේ සුන්දරත්වය දිහා වශීකෘතව බලා ගෙන හිටියා. සිරි  පොද වැස්ස, ඇය පාවිච්චි කරපු ජැස්මින් විලවුන් සුවද, ලස්සනට මල් පිපුනු රොබෙසියා ගස්, නේවාසිකාගාරය ඉදිරිපිට ලස්සනට පිපිලා හිනැහෙන රෝස මල්, වැහිසීතලෙන් බේරෙන්න එකිනෙකාට තුරුල් වෙලා ඉන්නා හමින්බර්ඩ් ජෝඩුව,  ඇත්තට සොබා දහමේ රිද්මයත් එක්ක ආදරේ දැනෙන හැටි කොයි තරම් අපුරුද? සුන්දරද? සිහින් වැහි පොදත් එක්ක එන සුළං රැලි අපිව තව තවත් ලං කරද්දී ඇගෙන් දැණුනු උණුසුමට මම තවත් එයාට ලං උනා. ඒ උණුහුම තව තවත් විඳ ගන්න මම ඇයව තවත් මා වෙත ලං කර ගත්තා. සුමුදු සුළං පොදක් හෙමිහිට විත් ඇගේ සොඳුරු වත සිප ගෙන ගියේ ලස්සන කෙස් කළඹ හෙමිහිට නලවමින්. ඒ හැඟුම වචනයෙන් විස්තර කරන්න නම් මට කවදාවත් පුළුවන් වෙන්නේ නෑ. ඇත්තටම ඇය සුරංගනාවියක්. ජීවිතේ වෙනකිසි කලෙක නොවිදි නොදුටු අමුතු සුන්දරත්වයක් ඒ දින කිහිපය තුළ මම ඇය තුළින් වින්දා.


නමුත් අපිට තිබුනේ මාස දෙකක් වගේ කෙටි කාලයක්. අපේ වැඩමුලුව අවසන් උනා. නේවාසිකාගාරයේ හිටිය එක්කෙනා දෙන්නා ආපහු තමුන්ගේ රටවලට යන්න පටන් ගත්තා. අන්තිම දවසට කලින් දවසේ ඉතුරු උනේ අපි කිහිප දෙනෙක් විතරයි. මෙච්චරකල් සතුටෙන් සිනාවෙන් පිරිලා තිබුණු පරිසරය පාලුවට ගිහින් වගේ දැනුනා. එයා මම ලඟට වෙලා හුරතල් දඟකාරකම් කරමින් හිටියත් දෑස්වල මොකක්දෝ අසරණකමක් ඇඳිලා තිබුණා. එදා දවසත්  ගෙවිලා ගිහින් අප වෙන් වෙන දිනය උදා උනා. එදා උදෙන්ම කොහෙන්දෝ සොයාගෙන ආ ජැස්මින් මල් දෝතක් මගේ කමිසයේ වම්පස සාක්කුවේ ඇය තැම්පත්කලා. එදා දවස පුරාම ඇය මා අසලින් සෙලවුනේවත් නෑ කිව්වොත් නිවැරදියි. අපිට ගුවන්තොටුපලට යන්නට තිබුනේ එකට. එකම ගුවන්යානයේ ගමන්කරල වෙනත් ගුවන් තොටුපලකදී අපේ රටවලට යන ගුවන්යානාවලට ගොඩවීමට තිබුණා. මොකක්දෝ හේතුවකට ඇයටත් මටත් හිමිවී තිබුනේ එක ලඟ අසුන්. ගුවන් ගමන අවසාන වනතෙක් මගේ උරහිසේ ඇගේ හිස තබාගෙන සිටියා. සමහරවිට ඇගේ කඳුලුවල තෙතමනය මගේ උරහිසට දැනුනා.

ට්‍රාන්සිස්ට් තිබුණු ගුවන්තොටුපලේ අපට පැය 5 ක පමණ කාලයක් ගෙවන්න තිබුණා. ඒ පැය 5 ම ඇගේ අත මගේ අත මෘදුව වෙලාගෙන තිබුනේ. ඩියුටි ෆ්‍රී ෂොප් එකට ඇවිදින්න ගියාම ලස්සන පුංචි මුදුවක් ඇය මගේ අතේ පැලැන්ඳුවා. මම ඇයට ලස්සන හිම කබායක් තෑගි කලා. අන්තිමට අපි වෙන්වෙන මොහොත උදා උනා. ඇය කඳුලු පිරුනු දෙනෙතින් මගේ දෑස් දිහාම බලාගෙන හිටියා. ඇය මගෙන් කලින් අසාගෙන තිබුනා අපේ රටේ අය උපරිම ගෞරවයක් ලැබෙන විදිහට සමුදෙන ආකාරය. බොහෝ වේලාවක් මගේ පපුතුරේ මුහුණ සගවාගෙන සිටි ඇය මට සමුදුන්නේ අපේ සම්ප්‍රදායට අනුව දෙපා අල්ලා වැඳ ආචාර කරමින්. ඈතට යනකම්ම බොඳවුනු දෙනෙතින් මම ඇය දිහා බලාගෙන හිටියා. ගුවන් යානයට ඇතුල් වෙන්න පෙර ඇය යලිත් මම දිහා බැලුවා. මට ඔයාව දාලා යන්න බෑ කියන අසරණ හැඟීම ඒ මූනේ තිබුණේ. අවසාන වතාවටත් අතවනලා ඇය නොපෙනී ගියා.


දසන්තේ පියා සලාලා ස‍ඳේ රැස් හෙමින් උනා  
සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැංගුණේ කියා

අයෙත් භාතිය, උමාරියා ශෝක භරිත හඬින් ගායනා කරනවා. මට හිතෙනවා මේ කියන්නේ මටමද කියලා.

දැන් වැස්ස නතරවෙලා. පාන්දර 1 ට විතර ඇති. හිස් අහසේ පේන්න තියෙන්නේ නිල් තරුකැට විතරයි. හුඟක් ඈතින් දිලෙමින් නිවෙමින් තියෙන තාරුකා මගේ හැඟීම්වලට ඔච්චම් කරනවදෝ කියලා මට හිතුනා. ජීවිතේ කෙටි කාලයකට විඳින්න ලැබුනු ඒ චමත්කාරජනක ආදරය වචනවලට පෙරලන එක ලේසි වැඩක් නෙමෙයි. නව යොවුන්විය පහුකරලා ජීවිතේ මැදිවියට ලංවෙලා හිටියත් යොවුන් ප්‍රේමයක පැවති මිහිරියාව ඒ පරිණත ආදරය තුළින් ලැබුනේ කෙසේදැයි අදටත් මට හිතාගන්න බෑ.

භාතිය සහ උමාරියා ගැයූ ගීතය, සිහින් වැහි පොද, ජැස්මින් මල් සුවඳ  ඒ  සුන්දර යුවතිය මගේ මතකයට ගෙන ආවේ නිතැතින්ම. ඇයව දුටු මුල්ම මොහොත, ඒ මුහුණට වශීවෙලා මම බලා සිටි ආකාරය, දෑසට දෑස හමුවූ අවස්ථාව, ආදරෙයි නොකියා ආදරය කළහැටි, ටික කලකින් දෙදෙනාට වෙන්වී ආපසු සිය රටවලට යන්නට සිදුවූ හැටි මේ සියලු දේ මුහුනේ සිහින්ව වැදී ඇදී ගිය සිනිඳු  සේලයක් වගේ මතකයට නැගෙනවා. එදා විඳි සුන්දරත්වය අද හීනයක් විතරයි. ආයෙත් ඒ සුන්දරත්වයට පාවෙලා යන්න ඇත්නම්. ඒ සොඳුරු සිත්තම් බොඳවූ ඡායාවක් වගේ සිතේ මැවෙනවා.

පැතූ පෙම් පැතුම් මල් ඉගිලිලා 
හැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා 
අනන්තේ සිසාරා රහසේමා 
පියාඹන්න ආසයි ඔබ හා මා
                             ආයෙත් උමාරියා ලයාන්විතව කියනවා.

මේ සුන්දරත්වයේ කිමිදී ඉන්න අතරතුරදී තමයි පහලින් ඇති ගීතයේ මුල්පද මටත් නොදැනීම මිමිනුනේ. මගේ දෙවැනි විදේශ ගමනෙදි දේශනයකට සහභාගී වෙන අතරතුර එය මා අතින් ගීත රචනාවක් බවට පත් උනා.

පමාවූ වසන්තය මල් පී පී සුන්දරයි
සිත දැවටෙනා සුවඳ හැඟුමකට අතවනයි
ජීවිතේ සුන්දරයි මල් සුවඳ හද ලඟයි
නමුත් මේ වසන්තය කෙටි කලයි එය නිමයි

සසර මග පැතු ලෙසේ ලංවෙන්න බැරිවෙලා
හද හැඟුම් අවදිකර අහම්බෙන් හමුවෙලා
පමාවූ වසන්තය පැමිණිවිට තටු සලා
නෙලනු බැරි මල් පිපේ පෙති අගින් පිනි සලා

වසන්තය නිමාවී සරත් කල පැමිණිලා
පිපුණු මල් පෙති සැලී විහඟ ගී ගොලු වෙලා
අහම්බෙන් නෙත ගැටුනු සමන් මල සිහි වෙලා
සුවඳ පමණක් විඳිමි දුරු රටක තනිවෙලා

Tuesday, February 7, 2017

රාමෝජි සිනමා නගරය නැරඹීමට ගියෙමි.

මා මේවනවිට ඉන්දියාවට පය ගසා ඇති බව කලින් පෝස්ටුවෙන් කීවෙමි. එද්දී නම් සිතුවේ දේශනවලට සහභාගී හොඳ දරුවෙකු වශයෙන් ගිය වැඩේ හරියට කරගැනීමටය. නමුත් සතියක් ගතවෙද්දී ලෙක්චර් කට් කිරීම පිලිබඳව විශේෂ ප්‍රාගුන්‍යක් හිමිවීම නිසා අපිත් එක්ක ආපු එවුන් හවස්වරුවේ ඉන්නේ කාමරවලය. එසේත් නැතිනම් ලංකාවෙන් පැමිණි  අහිංසක අසරණ ගෑණු දැරිවියන්ට සාරි කඩ, සෙරෙප්පු කඩවලට පාර කියාදීමෙනි. නැත්නම් මෙහෙ ස්ටාෆ් එකේ කවුරුන් හෝ සෙට් කරගෙන ක්‍රිකට් ගසමින්ය. අපේ එවුවන් කවුරුවත් තවම ටෙම්පරි ලව්වලට සෙට් වී නැති නිසා සියලු දෙනාටම සෑහෙන විවේකයක් හිමිවීම හේතුකොටගෙන විෂය කටයුතුවලට වඩා විෂය බාහිර කටයුතුවල නිරතවීමට ඉඩ හසරපෑදී ඇත. නැතිනම් ගොනා සහ කරත්තය සේ යන යන තැන ටෙම්පරි කෑල්ල එල්ලාගෙන යාමට සිදුවනු ඇත.

Thursday, February 2, 2017

අසල්වැසි රටේ සිට ලියමි

හුඟ කාලෙකින් බ්ලොග් එකේ මොකුත් කුරුටු ගාන්නට නොහැකිවීම ගැන බ්ලොග් ලියන, බලන, කොමෙන්ට් කරන, අසන, නරඹන සියලු දෙනා සමාව භජනය කොරන්න ඕනෑය. අවුරුද්ද අන්තිම නිසා ඔෆිසියේ වැඩ වැඩිවීමත් ඊට පස්සේ ලැබුනු ශිෂ්‍යත්ව කෑල්ලක් නිසා ඉන්දියාවට එන්නට සිදුවීමත්, මෙහේ ඇවිත් මුල් කාලේ පොඩි මඤ්ඥං ගතියක් ඇතිවීමත් නිසා මේකේ මොකුත්ම ලියන්නට බැරි උනෝය. දැන් නම් පොඩ්ඩක් විතර සෙට්ල් ගතියක් දැනෙන නිසා මොනවම හරි ලියන්න ඕනෑ කියා සිතුනේ නැතිනම් බ්ලොග් එකටත් කරන අසාධාරණයක් නිසාය.

Friday, December 30, 2016

2017 සුභ නව වසරක් වේවා



2017 වසර බ්ලොග් ලියන බ්ලොග් බලන, කමෙන්ට් කරන සියලු දෙනාට සුභ නව වසරක් වේවා.

පසුගිය මාසයක පමණ කාලය තුළ බ්ලොග් එකේ යමක් කෙටීමට නොහැකිවිය. ඇත්තටම වූයේ ලියා ඇති ආර්ටිකල් කීපයක් එඩිට් කරගැනීමට කාලය ප්‍රමාණවත් නොවීමය. කෙසේ වෙතත් මේ නොනගතය ඉක්මනින් නිමා කර නැවත බ්ලොග් රචනාවට එන්ටර් වීම මගේ පරම පිවිතුරු පැතුමය.

Monday, November 7, 2016

අපි වෙනුවෙන් අපි හෙවත් රාජ්‍ය සේවය සහ ජහමනයා



පහුගිය දින කිහිපය තුළම බ්ලොග් ලියන්නන් විශාල පිරිසක් ඉයන්ගේ සින්දු 16 බ්ලොග් අභියෝගය බාර අරන් තිබුණ කියලා තේරුනේ කට්ටියම හෝගාලා තමන් කැමති සින්දු ගැන කියන විටය. මෙය හරියට මම දැක්කේ තමන් යාලු වෙච්ච කෙල්ලන් අතරින් තමන් කැමතිම කෙල්ලන් කවුදැයි කියා අනුපිලිවෙලට නම් කරනවා වගේ වැඩක් හැටියටය. මට ඉස්කෝලේ යන කාලේ සිටම කෙල්ලෝ කීප දෙනෙක්ම  සිටියෝය. ඒ වනචර කමකට නොවේය. හෝමෝන ක්‍රියාවලිය උච්චතම කාලේ නිසා ඒ ගැන කරන්නට දෙයක් නැතිය. ඉතින් එකෙක් හොඳයි කිව්වොත් අනෙකාට සිදුවන්නේ අසාධාරණයක්ය. ආදරයේ “අ, ආ“ කියාදුන් ප්‍රේමයේ, යෞවනේ ඇදුරුතුමියන්ට එහෙව් අසාධාරණයක් කරන්නට මගේ හිත නැවෙන්නේ නැත. සින්දු වැඩෙත් ඒ වගේමය. ඒ නිසා මම මේ වැඩේට සම්මාදන් වෙන්නට නොගියේ මට කැමතිම සින්දුත් 16 ට වඩා ඇති නිසාය. නමුත් වැඩේ නැගලාම ගොස් තිබීම ගැන මම ඉයන්ටත් කැමති සින්දුදාපු හැමෝටමත් ස්තුතිවන්ත වෙනවාය.